නසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්

නසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්

June 27, 2026   09:28 pm

තමන් පෞද්ගලිකව බොහෝ දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුණද, නායිකාවක ලෙස අසාර්ථක වූ බවට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කළ ප්‍රකාශය ලෝක ක්‍රිකට් කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත හිටපු නායකයෙකු මෙන්ම ප්‍රකට විස්තර විචාරකයෙකු වන නසාර් හුසේන් පවසන්නේ, චමරි යනු කිසිසේත්ම පරාජිත නායිකාවක නොව, ඇය අනාගත පරපුර හැඩගස්වන ආදර්ශමත් ක්‍රීඩිකාවක වන බවය.

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් අනතුරුව චමරි අතපත්තු තරමක කලකිරීමකින් යුතුව අදහස් දක්වා තිබුණි. 

එහිදී ඇය සඳහන් කළේ, වසර 18ක දීර්ඝ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයක් කරා හෝ රැගෙන යාමට නොහැකි වීම විශාල කණගාටුවක් බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී නසාර් හුසේන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේය. 

ශූරතා සහ කුසලාන මතම පමණක් ඇයගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කිරීම අසාධාරණ බව ඔහු පෙන්වා දෙයි.

"චමරි අතපත්තු කියන්නේ හුදෙක් තරග දිනවන ක්‍රීඩිකාවක විතරක් නෙවෙයි. ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සන්නාමයක්".

පසුගිය වසර කිහිපය පුරා ඇය දැක්වූ අඛණ්ඩ දක්ෂතා සහ ක්‍රීඩාව කෙරෙහි දක්වන කැපවීම, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමකට සෘජුවම මඟ පාදා ඇති බව හුසේන් වැඩිදුරටත් අවධාරණය කළේය.

නසාර් හුසේන් පවසන පරිදි, චමරි ශ්‍රී ලංකාවට දායාද කර ඇත්තේ කුසලානවලට වඩා වටිනා උරුමයකි.

"අද වන විට ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත තරුණ ගැහැණු ළමයින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට පෙළඹී ඇත්තේ චමරිගේ දස්කම් දෙස බලාගෙනය.

පරාජයකින් පසු පසුබට නොවී, ඊළඟ තරගයේදීම ශතකයක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඇයට ඇති සුවිශේෂී හැකියාව ඇය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. ඇය අද වපුරන බීජවල සැබෑ අස්වැන්න නෙලාගනු ලබන්නේ අනාගතයේදීය.

අනාගතයේ දවසක ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ඕනෑම තරුණ ක්‍රීඩිකාවකගෙන්, ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගත්තේ ඇයිදැයි විමසුවහොත්, ඔවුන්ට දෙන්න තියෙන එකම සහ කෙටිම පිළිතුර 'චමරි අතපත්තු' යන්නයි. ඇය අනාගත පරපුරට මඟ පෙන්වන සැබෑ ආදර්ශමත්, විශිෂ්ට ක්‍රීඩිකාවක්" යැයි නසාර් වැඩිදුරටත් පවසා ඇත.