පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්
June 27, 2026 06:30 pm
ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 3,180දෙනෙකු රාජකාරියේ යෙදවීමට නියමිත බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා පවසයි.
පොසොන් උත්සවයට සමගාමීව හෙට (28) දිනයේ රාත්‍රී කාලයේදී වීථි සංචාරය කිරීමට නියමිත ඓතිහාසික මිහිඳු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේදී පමණක් මහනුවර සිට යාපනය දක්වා දිවෙන A-9 මාර්ගයේ සහ අනුරාධපුර සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ මිහින්තල නගරය හරහා වැටී ඇති කොටස් තාවකාලිකව වසා තැබෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පැවසීය.
ඒ අනුව දඹුල්ල දෙස සිට යාපනය දෙසට ධාවනය වන වාහන, මිහින්තලා නගරයට පෙර හමුවන බෝංජි විහාරස්ථානය අසලින් වමට හැරී මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ ඔරලෝසු කණුව දක්වා ගමන් කර, එතැනින් ඉසුරු උයන මාවත ඔස්සේ A-9 මාර්ගයට පිවිසිය යුතු වේ.
එමෙන්ම යාපනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන, මිහින්තලේ ඇඟලුම් කම්හල අසලින් දකුණට හැරී, ඉසුරු උයන මාවත ඔස්සේ ඔරලෝසු කණුව මංසන්ධියට පැමිණ එතැනින් මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ A-9 මාර්ගයට පිවිසිය යුතු වේ.
පොසොන් පෝය දිනයේ දී මිහින්තලය නගරය හරහා A-9 මාර්ගය විවෘත කෙරෙන්නේ එක් දිශාවකට පමණක් වන අතර යාපනය දෙස සිට මහනුවර දෙසට ගමන් කරන වාහනවලට සුපුරුදු පරිදි මිහින්තල නගරය හරහා ගමන් කිරීමට හැකියාව පවතී.
කෙසේ වෙතත් මහනුවර ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශය (යාපනය) දෙසට ගමන් කරන වාහන බෝංජි විහාරය ඉදිරියෙන් වමට හැරී, මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ ගමන් කර නැවත A-9 මාර්ගයට පිවිසිය යුතු බව පොලිසිය දන්වා සිටියි.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ දන්සල් විශාල සංඛ්‍යාවක් සූදානම් කර ඇති අතර, එම දන්සල් පවත්වනු ලබන දායකයින්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ මාර්ගවල ගමන් කරන වාහනවලට සහ බැතිමතුන්ට කිසිදු බාධාවක් හෝ කරදරයක් නොවන අයුරින් එම දන්සල් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසය.
