ඩෙංගු රෝගීන් ගණන 50,459ක් - මරණ 30ක්

ඩෙංගු රෝගීන් ගණන 50,459ක් - මරණ 30ක්

June 27, 2026   12:14 pm

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 50,459ක් සහ මරණ 30ක් වාර්තා වී ඇති බවය.

මෙම දත්ත තවදුරටත් වැඩි විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරිය පැවසුවේ මදුරු ඝනත්වයේ අඩුවීමක් දක්නට නොලැබෙන බවත් මේ හේතුවෙන් තම පරිසරය නිරන්තර පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් වන බවය.

දීර්ඝ සති අන්තයක් එළැඹීම තුළ මහජනතාවගේ ක්‍රියාකාලපයන් හේතු‍වෙන් ඩෙංගු රෝගය තවදුරටත් වර්ධනය වීමක් සිදුවිය හැකි බව පෙන්වා දුන් වෛද්‍යවරිය පැවසුවේ මෙම සති අන්තය ප්‍රයෝජනයට ගනිමින් තම නිවාස සහ අවට පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවය.

"මේක අපේ රට, අපේ රට පිරිසිදුව තබා ගැනීම අපිට වැදගත් ඒකෙන් මේ රෝගය අපිට අඩු කර ගැනීමට පුළුවන් වෙනවා. ඒ නිසා මේ ගැන සැලකිළිමත් වෙන්න. යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා වැඩියෙන් උණ තියෙනවානම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැතිද කියලා සැක හැර දැනගන්න ඕනේ. නොපමාව රෝහලට ගිහිල්ලා රුධිර පරීක්ෂාවක් කරගෙන ඒ ගැන සැක හැර දැනගැනීම වැදගත්. ඩෙංගු යැයි සැක හැර ස්ථීර කරගන්නකම් පැරසිටමෝල් වර්ගයේ ඖෂධ වර්ග පමණයි ගන්න ඕනේ උණ අඩු කරගැනීම සඳහා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා."