සූර්යවංශි අද ඉතිහාසය වෙනස් කරයිද? 

සූර්යවංශි අද ඉතිහාසය වෙනස් කරයිද? 

June 26, 2026   03:23 pm

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන, තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය අද (26) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිතය. 

මෙරට වේලාවෙන් ප.ව. 6:00 ට ආරම්භ වන මෙම තරගය මේ වනවිට සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාවම නොඉවසිල්ලෙන් බලා සිටින තරගයක් වී ඇත.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඉන්දීය යොවුන් පිතිකරු වයිබව් සූර්යවංශි මෙම තරගයේදී ජාත්‍යන්තර වරම් ලැබීමට බොහෝ දුරට ඉඩකඩ පැවතීමය.

දක්ෂතාවලින් සපිරි සූර්යවංශි අද තරග බිමට පිවිසියහොත්, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාස පොත අලුතින්ම ලියා තබනු ඇත.

මේ වන විට වයස අවුරුදු 15යි දින 91ක් වන සූර්යවංශි අද තරගයට ක්‍රීඩා කළහොත්, පිරිමි විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ICC පූර්ණ සාමාජික රටක් වෙනුවෙන් ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ අයර්ලන්තයේම ජොෂ් ලිට්ල් ය. ඔහු සිය මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 16යි දින 309කි.

සූර්යවංශි අද පිටියට පිවිසියහොත් ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වනු ඇත.  

මෙතෙක් එම වාර්තාව සතු වූයේ ලොව සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ටය. 

සචින් 1989 දී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් වරම් ලබන විට වයස අවුරුදු 16 යි දින 205ක් වූ අතර, ඉන් දින 33කට පසු ඔහු එක්දින වරම්ද දිනා ගත්තේය.

සමස්ත පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේම තරගයකට ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ හසන් රාසා ය. 

ඔහු 1996 වසරේදී සිම්බාබ්වේට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 14 යි දින 227ක් පමණි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2020 වසරේදී ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර තරග සඳහා සහභාගී විය හැකි අවම වයස අවුරුදු 15ක් ලෙස නියම කර තිබේ.