චීන ජනපති සහ බංග්ලාදේශ අගමැති අතර හමුවක්
June 26, 2026 01:51 pm
චීන ජනාධිපති ෂී ජින්පිං සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් අතර විශේෂ හමුවක් අද (26) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදුවිය.
නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-බංග්ලාදේශ ප්‍රජාවක් ගොඩනඟමින් දෙරට අතර සබඳතා වඩා ඉහළ මට්ටමකට වර්ධනය කිරීම ප්‍රවර්ධනය කරන බව දෙරටේ නායකයන් එහිදී ඒකාබද්ධව ප්‍රකාශ කර ඇත.
බංග්ලාදේශය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා චීනය සැමවිටම විශාල වැදගත්කමක් ලබා දී ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද, චීනය සැමවිටම බංග්ලාදේශයේ විශ්වාසවන්ත මිතුරෙකු, අසල්වැසියෙකු සහ හවුල්කරුවෙකු ද වනු ඇති බවත්, එරට ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා සහාය වෙමින් බාහිර මැදිහත්වීම්වලට විරුද්ධ වන බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම 'එක් තීරයක් එක් මාවතක්' වැඩපිළිවෙල ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව ගොඩනැගීමටත්, ඩිජිටල් ආර්ථිකය, තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යනාදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතා පුළුල් කිරීමටත් බංග්ලාදේශය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපති ෂී ජින්පිං වැඩිදුරටත් කියා සිටියේය.
