ඥානසාර හිමිගේ නඩුවක් කල් යයි

ඥානසාර හිමිගේ නඩුවක් කල් යයි

June 26, 2026   11:53 am

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් ජූලි මස 31 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව විභාගකරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා අද (26) දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්, එම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරිපිටය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 31 වනදා කැඳවන ලෙසය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥාණසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.