
කටාර් රාජ්‍යය විසින් ඉදිරි සති කිහිපය තුළ ඔවුන්ගේ ස්වාභාවික වායු නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් කරන බව එරට අගමැති ෂීක් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි පවසා තිබේ.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරවලින් කටාර්හි 'රාස් ලැෆාන්' ගෑස් පර්යන්තයට හානි සිදුවුණි.
මේ නිසා එරට රජයට අයත් 'කටාර් එනර්ජි' සමාගමට ගිවිසුම් ප්‍රකාරව ගෑස් සැපයීමට නොහැකි වූ අතර, දැන් ඔවුන් පවසන්නේ හානි වූ කොටස හැර අනෙකුත් සියලුම නිෂ්පාදන කටයුතු සති කිහිපයකින් සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි.
ලෝකයේ සමස්ත ගෑස් අපනයනයෙන් 20%ක්ම සිදු කරන්නේ කටාර් රාජ්‍යයයි.
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ එකඟතාවලින් පසු ඉදිරි සතිවලදී එම මුහුදු කලාපයේ නැව් ගමනාගමනය ද සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි කටාර් අගමැතිවරයා බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.























