පළාත් 6ක අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් - ඩෙංගු රෝගීන් 48,000 පනී
June 24, 2026 10:20 am
ඩෙංගු අධි අවදානම් තත්ත්වය පවතින පළාත් 06ක අද (24) සිට 26 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර, මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසා සිටියේ, ඊයේ (23) දිනය තුළ පමණක් රෝගීන් 750ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 48,287ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
මේ අතර සමස්ත රෝගීන්ගෙන් 52.12%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී අතර, දකුණු පළාතේ 16.04%ක් සහ සබරගමුව පළාතෙන් 9.15%ක් රෝගීන් වාර්තා වී තිබේ.
ජූනි මාසය තුළ පමණක් රෝගීන් 14,446ක් වාර්තා වූ බව වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පැවසීය.
මේ අතර, ඩෙංගු වසංගතය සමඟ චිකුන්ගුන්යා රෝගයද ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ වනවිට රෝහල් ධාරිතාවය උපරිමයට පැමිණ ඇති බවත් පැවසු වෛද‍්‍ය කපිල කන්නංගර මහතා රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි වෙහෙසකර තත්ත්වයකට පැමිණ ඇති බවය.
