VAT සහ SSCL පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවේ

VAT සහ SSCL පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවේ

June 23, 2026   04:48 pm

එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, VAT සහ SSCL සඳහා දැනට පවතින රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

මෙහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එලෙස වැට් බදු සඳහා යටත්වන සීමාව අඩු නොකළ ද මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැට් බද්ද සඳහා ලියාපදිංචි වීම වැදගත් බවයි. 

එබැවින් වැට් බද්දට යටත් සීමාවට පහළින් සිටිය ද ස්වෙච්ඡාවෙන් ඒ සඳහා ඔවුන්ට ලියාපදිංචි විය හැකි බව ඔහු පැවසීය.

"ඉදිරියටත් මිලියන හැටේමයි තියෙන්නේ වැට් බදු අයකරන සීමාව. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් Threshold එකෙන් පහළ තිබුණත් තමන්ට ඇවිල්ලා වැට් බද්ද සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා", යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ, මෙම යෝජනාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

රජයක් ලෙස මෙම අවස්ථාවේදී එම සීමාව රුපියල් මිලියන 36 දක්වා පහළ දැමීම සුදුසු නොවන බව තීරණය කළ බවත්, ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සූදානම් කටයුතු සහ බදු අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීමට කාලයක් අවශ්‍ය බවත් ඇය පැවසුවාය.

එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් බවත්, ඒ අනුව අදාළ සංශෝධන සඳහා ඉදිරි පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

"අපි මුදල් කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ මිලියන 60ක සීමාව තියෙන VAT සහ SSCL මිලියන 36ට ගෙන ඒම ගැන. ඒ ගැන සමාජයේ කතා බහකුත් තිබුණා. නමුත් අපි රජයක් ලෙස තීරණය කරලා තියෙනවා ඒක ගෙන එන්න ඕනේ මේ අවස්ථාවේදී නෙමෙයි. මොකද මේ අවස්ථාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒ සඳහා සූදානම්වීමක් අවශයයි. අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කරන්න අවශ්‍යයි. ඒ නිසා යම් ප්‍රමාණයකට මේ අවස්ථාවේදී ඒකට සුදුසු අවස්ථාව නෙමෙයි කියන එක ඊයේ කැබිනට් එකෙන් තීරණ කළේ. ඒ අනුව, නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිලා අද දිනයේදී ඒක කාරක සභා අවස්ථාවේදී සම්මත වෙනවා."