බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි

බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි

June 23, 2026   09:22 am

මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේප්පුවක් කඩා පුද්ගලයින් තිදෙනෙකු එහි තිබූ රන් ආභරණ තොගයක් රැගෙන පලාගොස් තිබේ.

අද (23) අලුයම 1.00ට පමණ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇති මෙම පිරිස එහි සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයෙන් බැංකුව තුළට ඇතුළු වී ඇත.

පසුව ඔවුන් එහි තිබූ සේප්පුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන මෙලෙස පලා ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් තිදෙනා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔවුන් බැංකු පරිශ්‍රයේ තිබූ CCTV යන්ත්‍රවල DVR යන්ත්‍රය ද ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ පවුම් සියයකට අධික ප්‍රමාණයක් අතුරුදන් ව ඇති බවය.