මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ඇමති විජිත යළිත් තහවුරු කරයි

මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ඇමති විජිත යළිත් තහවුරු කරයි

June 22, 2026   02:52 pm

ශ්‍රී ලංකාව සෑම විටම මධ්‍යස්ථව සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා සමග අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සාකච්ඡාව අතරතුර අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන නිරන්තර සහාය පිළිබඳව අමාත්‍යවරයා සිය ඇගයීමද පළ කළේය.

මැදපෙරදිග පැවති යුදමය වාතාවරණය හමුවේ මෙරටට ඉන්ධන ලබා ගැනීමට ලබා දුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළ අතර ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට ප්‍රදානය කරන ලද මුහුදු යාත්‍රා සහ ගුවන් යානා වෙනුවෙන් ද රජයේ කෘතඥතාව අමාත්‍යවරයා මෙහිදී පිරිනැමීය.

මෙරට ආරක්ෂිත හා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් අමෙරිකානු ආයෝජකයින්ට මෙරට ව්‍යාපාර කටයුතු සඳහා ආරාධනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උනන්දුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෝල් කපූර් මහතා වෙත දැන්වීය.

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින සබඳතාව ඉහළින්ම අගය කරන බවය.

මෙම හමුව අතරතුරදී වර්තමානයේ ආරම්භ වී ඇති අමෙරිකා - ඉරාන ගිවිසුම පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වූ අතර එම ගිවිසුමේ සාර්ථකත්වය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය සුබ පැතුම්ද එක් කරනු ලැබීය.

එමෙන්ම එළැඹෙන ජූලි 04 වන දින සැමරීමට නියමිත 250වන අමෙරිකානු නිදහස් සැමරුම වෙනුවෙන්ද අමෙරිකා එක්සත් ජනපද සහ එරට වැසියන්ට අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සුබ පැතුම් එක් කරනු ලැබීය.