බීමත් රියදුරෙකු කළ විනාශය - වෙළෙඳසැල් හිමියා ජීවිතක්ෂයට
June 21, 2026 08:51 pm
මන්නාරම ප්රදේශයේ සිට දන්කොටුව බලා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අරච්චිකට්ටුව, සෙන්ගල්ඔය පාලම අසලදී පාරෙන් ඉවතට පැන වෙළෙඳසැලක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් වෙළෙඳසැල් හිමියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව ප්රදේශයේ පදිංචිව සිටි රාමසාමි ගෝවින්දසාමි නමැති පුද්ගලයෙකි.
අද (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කර ඇත.
ඔවුන් තිදෙනාම එම අවස්ථාවේදී අධික ලෙස බීමතින් සිටි බව අනතුර ඇසින් දුටු ප්රදේශවාසීන් ප්රකාශ කර තිබේ.
අනතුරින් වෙළෙඳසැල් හිමියා මියයාමත්, මෝටර් රථයේ සිටි පිරිස බීමතින් සිටීමත් හේතුවෙන් එම ස්ථානයට රැස්වූ ප්රදේශවාසීන් මෝටර් රථයේ සිටි පුද්ගලයන් තිදෙනාට පහර දී ඇති බව වාර්තා වේ.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයන් තිදෙනා ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
