හෝමූස් යළි වැසුණු පසු නව සාකච්ඡා වටයක්
June 21, 2026 12:45 pm
අමෙරිකාව සහ ඉරානය අතර නව සාකච්ඡා වටයක් ස්විස්ටර්ලන්තයේදී අද (21) ආරම්භ වීමට නියමිතය.
ඒ සඳහා අමෙරිකානු පාර්ශ්වයෙන් සහභාගී වන උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ස්විස්ටර්ලන්තය බලා පිටත්විය.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ දෙපාර්ශ්වය ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වුවහොත්, හෝමූස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන් ගන්නා යාත්‍රාවලට අමෙරිකාව ගාස්තු පනවන බවය.
මැද පෙරදිග සාමය පිළිබඳ අවිනිශ්චිතබවක් නිර්මාණය කරමින් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට කටයුතු කළේ ඊයේ (20) පස්වරුවේ සිටය.
ඒ, සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනය වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි.
කරුණු 14කින් සමන්විත අමෙරිකාව සහ ඉරානය එළැඹි සාම අවබෝධතා ගිවිසුමේ පළමු කොන්දේසිය වූයේ, ''අමෙරිකාව, ඉරානය සහ යුද්ධයේ අනෙක් පාර්ශ්ව වහාම එකිනෙකා වෙත මෙන්ම ලෙබනනය වෙතත් ප්‍රහාර එල්ලකර ගැනීම අත්හිටුවීම'' යන්නය.
ඒ අනුව, අමෙරිකාව සහ ඉරානය එකිනෙකාට සිදුකරන ප්‍රහාර වහා නැවැත්වීමට ක්‍රියා කළ නමුත්, ඊශ්‍රායලය මෙම තීරණය පිළිගැනීමට දැක්වූයේ මැලිකමකි.
කෙසේවෙතත්, ඊශ්‍රායලය සහ ලෙබනනය කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට එකඟ වූ නමුත් දිගින් දිගටම ප්‍රහාර එල්ල විය.
ඒ හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා යළි වසා දැමීමට පියවරගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිවේදනය කළේය.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් පැවැති නෞකාවලට ඒ හරහා ගමන් නොකරන ලෙසත්, අණ නොතකා යාත්‍රා කරන යාත්‍රාවලට ජල බෝම්බවලට හෝ නාවික හමුදාවල ඉලක්ක විය හැකි බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය අඛණ්ඩව සිදුවන බවට පවසමින් අමෙරිකානු මධ්‍යම විධානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.
ඊයේ දිනයේ පමණක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ වාණිජ නෞකා 55ක් ගමන්කර ඇති අතර බොරතෙල් බැරල් මිලියන 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව ද සඳහන්.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගේයි, අමෙරිකානු පාර්ශ්වය තම වගකීම් ඉටුනොකරන්නේ නම් ඉරානය අවශ්‍ය පියවර ගන්නා බව පවසා තිබේ.
ඉරාන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ සාම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ එහි සඳහන් කොන්දේසි ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තුවෙන් වන බවය.
නව සාකච්ඡා වටය සඳහා ඉරාන පාර්ශ්වයෙන් එක්වන ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ එරට විදෙස් කටයුතු ඇමති අබ්බාස් අරාග්චි ද ස්විට්සර්ලන්තයට පැමිණ ඇත.
