ලොවක් දිනූ රුමේෂ් ගේ මීළඟ බලාපොරොත්තුව

ලොවක් දිනූ රුමේෂ් ගේ මීළඟ බලාපොරොත්තුව

June 20, 2026   09:17 pm

හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබූ රුමේෂ් තරංග අද (20) පස්වරුවේ දිවයිනට පැමිණියේය. 

ඔහු මෙරට නාමය රන් අකුරින් සනිටුහන් කරමින් මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙළේ දෝහා හිදී ඊයේ (19) පැවති 7 වැනි අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණ කළේය.

රුමේෂ් තරංග ගැන මෑතකාලයේ කතාබහක් නිර්මාණය වූයේ ඔහු හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පෑ සුවිශේෂී දස්කම් නිසාය.

රුමේෂ් ලොව විශිෂ්ටතමයන් සහභාගි වන 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලිය තුළ මෙවර සිය ඉසව් ජයගත්තේ වාර්තා පිට වාර්තා තබමිනි.

ඔහු මොරොක්කෝවේ රබාට් හි පැවැති ඩයමන්ඩ් ලීග් අදියරේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය හිමිකරගත් අතර රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර 92.62 ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟින් පළමු ස්ථානය දිනා ගනු ලැබීය.

එමෙන්ම රුමේෂ් පසුගිය සතියේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 86.57 ක දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානයද දිනාගනු ලැබීය.

ඒ අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ශ්‍රෙණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට රුමේෂ් තරංග සමත් වූ අතර එතෙක් මෙතෙක් මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලාංකිකයෙක් පැමිණි ඉහළම ස්ථානය ද මෙය වේ.

මෙලෙස දින 20ක කාලයක් තුළ ලෝකයේ ප්‍රධානම මලල ක්‍රීඩා තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ රුමේෂ් කටාර් රාජ්‍යයේ දෝහා හිදී ඊයේ රාත්‍රියේ පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 7 වැනි අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරග වැදුණි.

ඒ ග්‍රෙනේඩාවේ ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් , ඔලිම්පික් රන් පදක්කම් ලාභීයෙක් මෙන්ම ලෝක ශූරයෙක්ද වන ඉන්දියාවේ නීරාජ් චොප්රා ඇතුළු සුපිරි ක්‍රීඩා තරු සමඟය.

ඉසව්ව නැරඹීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් රැසක්ද පැමිණ සිටියේ රුමේෂ් තරංගට දිරියක් වෙමිනි.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තුන්වන වටය දක්වා රුමේෂ් තරංග සිව්වන ස්ථානයේ පසුවූ අතර ඇන්ඩර්සන් පීටර්ස්, කර්ටීස් තොම්සන් සහ නීරාජ් චොප්රා රුමේෂ්ට ඉදිරියෙන් රැඳී සිටියේය.

නමුත් රුමේෂ් සිය සිව්වන උත්සාහයේදී සුපිරි විසිකිරීමක් සමගින් මීටර 88යි දශම 6යි 8ක විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ වත්මන් මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තමාව අබිබවායාමට කිසිවෙකුත් නොමැති බව නැවත නැවතත් තහවුරු කරමිනි.

ඒ අනුව දෝහා ඩයමන්ඩ් ලීග් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් රුමේෂ් තරංගගේ දක්ෂතාව ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඉහළ ඇගයීමට ලක්විය.

අද පස්වරුවේ දිවයිනට පැමිණි රුමේෂ් තරංග සිය ඉදිරි බලාපොරොත්තු සම්බන්ධව අදහස් දැක්වීමක්ද සිදු කළේය.

එහිදී ඔහු පැවසුවේ තමාගේ මීලඟ බලාපොරොත්තුව කොමන්වෙල්ත් තරගාවලියේ පදක්කමක් කරා ගමන් ගැනීමට බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුමේෂ් තරංග

"ඇත්තටම ගොඩක් සතුටුයි ලොකු දක්ෂතාවයන් 4ක් එක්ක නැවත ලංකාවට නැවත පැමිණීම ගැන. දෝහා ඩයමන්ඩ් ලීග් එකේ ලොකු ත්‍රෝ එකකට යන්න පොඩ්ඩක් අමාරු වුණා මොකද මම කස්පෙටිෂන් 4ක් එක දිගට කරපු නිසා. බ්‍රසීලයේ තිබෙන ඊළඟ ඩයමන්ඩ් ලීග් ෆයිනල් වටයට මම සිලෙක්ට් වෙලා ඉන්නවා. මගේ ඊළඟ බලාපොරොත්තුව කොමන්වෙල්ත් එකේ මෙඩ්ල් එකකට යන්න සහ සෑහෙන ලොකු කම්පෙටිෂන් තියෙන අවුරුද්දක් මේක. ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා."