ආනයන ගෙවීම් සම්බන්ධ ගැසට් පත්‍රය ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් 

ආනයන ගෙවීම් සම්බන්ධ ගැසට් පත්‍රය ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් 

June 19, 2026   12:49 pm

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. 

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ, ආනයන සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින් විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම එහි අරමුණ බවය. 

ඇතැම් පාර්ශ්ව ව්‍යාජ ලෙස සමාගම් ලියාපදිංචි කරමින් ආනයන අපනයන ක්‍රියාවලියට මුවාවී විදේශ විනිමය රටින් පිටතට යැවීමට කටයුතු කර ඇති ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වූ බව හෙතෙම පෙන්වා දෙයි. 

නව ගැසට් නිවේදනය යටතේ ආනයනකරුවන්ගේ ලිපිනය, ගිණුම් අංකය, ආනයනය කරන භාණ්ඩ ගෙවීම් කරන මුදල් ඒකකය ඇතුළු සියලු තොරතුරු විධිමත්ව ලබා ගත යුතුය. 

සෑම බැංකුවක් මගින්ම එක් එක් ගනුදෙනු‌ වෙනුවෙන් වෙනම අංකයක් පවත්වාගෙන යා යුතු බව ද මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.