චමින්ද කුලරත්නගේ පෙත්සම් විභාගය ජූලි 20 දක්වා කල් යයි
June 19, 2026 12:21 pm
තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අද (19) සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරන බව කියාසිටියේ.
සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින බිමල් රත්නායක සහ අනිල් ජයන්ත යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ තවත් වග උත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් යන මහත්වරුද මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බව ප්‍රකාශ කළහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වනදා කැඳවන ලෙස නියම කළේය.
කිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා ගෙන සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
