ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහාය
June 19, 2026 12:05 pm
ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය පවසයි.
ඒ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ කැනේඩියානු මහ කොමසාරිස්වරිය අතර ඊයේ (18) පැවති නිල හමුවකදීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහ කොමසාරිස්වරිය සිය ප්‍රශංසාව පළ කළාය.
එමෙන්ම දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය වැනි අභියෝග හමුවේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජය ගෙන ඇති පියවරද ඇය ඇගයීමට ලක් කළාය.
මෙහිදී අමාත්‍ය උපාලි පන්නිල මහතා විසින් දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳව මහ කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැනේඩියානු සහය ලබාදෙන බවද ප්‍රකාශ කර තිබේ.
වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර අවධානය යොමු වී ඇත.
ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමටද කැනේඩියානු මහ කොමසාරිස්වරිය එකඟතාව පළ කළාය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.
