ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
June 19, 2026 10:09 am
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට එළඹීමෙන් පසු ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය ඉවත් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය තහවුරු කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව අවහිරය අවසන් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් X ගිණුම ඔස්සේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු නාවික යාත්‍රා කිහිපයක් තවදුරටත් එම කලාපයේ රැඳී සිටින බවද වාර්තා වෙයි.
මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට වෙනස් අදහසක් තිබුණද මෙම ගිවිසුම අනුමත කළ බවය.
ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් විසින් ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලබාදුන් සහතිකයෙන් පසු එය ඉදිරියට ගෙන යාමට අවසර දුන් බවද ඔහු සඳහන් කර තිබේ.
කමේනි චෝදනා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම ලබාගැනීම සඳහා “දැඩි අවශ්‍යතාවයෙන් පෙළෙමින් සෑම ආකාරයකම බලපෑම් සහ උපක්‍රම භාවිත කළ” බවය.
ඇමෙරිකා-ඉරාන ගිවිසුම ප්‍රධාන කරුණු 14ක් වටා ගොඩනැගී ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් නොතිබිය යුතුය යන නියමය සහ රටේ "ප්‍රතිසංස්කරණ හා ආර්ථික සංවර්ධනය" සඳහා ඩොලර් බිලියන 300 ක අරමුදලක් වෙනුවෙන් කැපවීම ඊට ඇතුළත් වේ - කෙසේ වෙතත් මෙයට දායක වීමට ඇමෙරිකාවට බැඳීමක් නැත.
මෙම ගිවිසුම අනුව දෙපාර්ශ්වය අවම වශයෙන් දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීමට කටයුතු කළ යුතු අතර, අවශ්‍ය නම් දෙපාර්ශ්වයේ එකඟතාව මත කාලය දීර්ඝ කළ හැකිය.
ගිවිසුමට නිල අත්සන් තැබීමේ උත්සවය ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මැදිහත්කරු ලෙස කටයුතු කළ පාකිස්තානය පවසා ඇත්තේ එය දැනටමත් දුරස්ථ ක්‍රමයෙන් අත්සන් කර ඇති බැවින් උත්සවය අවලංගු කළ බවයි.
ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කළේ ගිවිසුම ක්‍රියාත්මක වී ඇති බවත්, ඉදිරි සාකච්ඡා සඳහා දින 60ක කාලසීමාව ආරම්භ වී ඇති බවත්ය.
කෙසේ වෙතත් මෙම ගිවිසුමට අමෙරිකාවේ ඇතැම් දේශපාලනඥයන්ගෙන් විවේචන එල්ල වී තිබේ.
රිපබ්ලිකන් සෙනෙට් සභික බිල් කැසිඩි එය "දශක කිහිපයකින් සිදු වූ දරුණුතම විදේශ ප්‍රතිපත්ති අත්වැරැද්ද" ලෙස විවේචනය කර ඇත.
මේ අතර ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් තවදුරටත් පවතින බවත්, ඉරාන-අමෙරිකානු ගිවිසුමෙන් පසුද දෙපාර්ශ්වය අතර ප්‍රහාර සිදුව ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
