ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 දක්වා කල් යයි
June 18, 2026 03:50 pm
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම සලකා බැලීම අද (18) රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරුණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහරශී හේරත් මහත්මිය පෙනී සිටියාය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.
