රජයේ අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම තහනම් - අගමැති
June 17, 2026 10:20 pm
විවිධ සංවිධාන හා බාහිර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන, රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී අද (17) උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම රජයක් වශයෙන් අතිවිශාල කැපකිරීමක් සිදුකරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වන බැවින්, දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පදනම්ව බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළාය.
එමෙන්ම, 'දිට්වා' සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සහ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු ව ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලුවලට විසඳුම් දෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, ලංකා ඉතිහාසයේ විශාලතම ගුරු බඳවාගැනීම 2026 වසරේදී සිදුකරන බවය.
ඒ අනුව, උපාධිධාරී ගුරුවරුන් 23,000ක්, විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළුව 30,000කට ආසන්න පිරිසක් මේ වසරේදී රාජ්‍ය සේවයට එක් කර ගැනීමට සැලසුම් කර ඇත.
මීට අමතරව අධ්‍යාපන පරිපාලන හා ගුරු උපදේශක පුරප්පාඩු පිරවීමට මෙන්ම ගුරු තුලනය හා දත්ත කළමනාකරණ ගැටලු විසඳීමටද පියවර ගන්නා බව ඇය පැවසා තිබේ.


