මීගොඩ දන්සලේ අනතුරට අදාළ කැබ් රථ රියදුරු ඇතුළු සැකකරුවන් නැවතත් රිමාන්ඩ්
June 16, 2026 05:01 pm
මීගොඩ ප්‍රදේශයේදී පසුගිය වෙසක් දින පැවති දන්සලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව් දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් පිරිස අද (16) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ කැබ් රථයේ හිමිකරු බව කියන අත්තනායකගේ දොන් වසන්ත නැමැති පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි සෙල්ලමුත්තු සෙල්ලකුමාර්, කැබ් රථයේ රියදුරු වන ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දොන් සරත් හෙට්ටිගේ නම් පිරිසකි.
මෙහිදී අදාළ අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කළ අතර අනෙක් පස්දෙනා වෙනුවෙන්ද රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබා දීමටද විත්තිය එකඟතාව පළ කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ප්‍රගතිය ලබන නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.
