අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය 'ෆ්‍රී ලෝයර්ස්' දැඩිව හෙළාදකී

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය 'ෆ්‍රී ලෝයර්ස්' දැඩිව හෙළාදකී

June 16, 2026   01:38 pm

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’  සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ පැහැදිලිවම දේශපාලන මර්දන උත්සාහයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණි.

එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

මේ සිද්ධිය හෙළා දකිමින් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, දේශපාලන පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එකම නඩුවක් යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීම අතිශය දුර්ලභ කටයුත්තක් බවය.

2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ එය පවත්වාගෙන යාමට පොලීසියට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

එසේ තිබියදීත්, දේශපාලනඥයින් නිහඬ කිරීම සඳහා මෙලෙස පොලිස් බලය අවභාවිත කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුත්තක් බව එම සංවිධානය අවධාරණය කරයි.

වත්මන් පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා තමන් ක්‍රියාකාරීව දායක වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමකින් පිළිගත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු, කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවාගෙන ඇති බව එම සංවිධානය පවසයි.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කර, අතීතයට බලපාන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද උසස් කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

රජය විවේචනය කරන සෑම තරාතිරමකම පුද්ගලයින් අපහසුතාවයට පත් කර මෙල්ල කර ගැනීම සඳහා, රජය මෙවැනි දේශපාලනීකරණය වූ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ලවා විවිධ උපක්‍රම යොදාගනිමින් සිටින බවට ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) වගන්තිය මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහසත්, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහසත් තහවුරු කර ඇත.

එබැවින් දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ මෙම මූලික අයිතිවාසිකම් විනාශ කිරීමට දේශපාලනීකරණය වූ පොලිස් සේවයට කිසිදු හැකියාවක් හෝ අයිතියක් නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.

දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ නිදහස් අදහස් දැක්වීම් වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව දරන මෙම ඒකාධිපති උත්සාහය සමස්ත සමාජයම එක්ව පරාජය කළ යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.