යෝෂිත අභියාචනාධිකරණයට

යෝෂිත අභියාචනාධිකරණයට

June 16, 2026   10:16 am

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට අභියාචනාධිකරණයට පැමිණි සිටී.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ 'කුමන්ත්‍රණය' නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (16) විභාගයට ගන්නා බැවින් එයට සහභාගී වීම සඳහා ඒ මහතා මෙලෙස අභියාචනාධිකරණයට පැමිණ තිබේ.

අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.

මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සිය සේවා දායකයා සමඟ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක් විත්තිකරුවන් වශයෙන් නම් කර තිබුණද පසුව ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව නීතිපතිවරයා විසින් නිදහස් කළ බවය.

එසේ තිබියදී තම සේවා දායකයාට පමණක් "කුමන්ත්‍රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාම නීතියට පටහැණි බවත් නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එක් විත්තිකරුවෙකුට වුවද "කුමන්ත්‍රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාමට හැකි බව අවධාරණය කළේය.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් අද දිනයේදී පූර්ණ විභාගයක් පවත්වන බව අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබුණි.