පරාජයත් සමඟ දඹුල්ලේ දී නොසන්සුන් වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටෙයි
June 15, 2026 10:39 pm
15 හැවිරිදි සුපිරි ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi), අද (15) දඹුල්ලේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක සහ තල්ලු කරගැනීමක් සිදුකර ගත්තේය.
සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ඉන්දියා 'ඒ' කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.
සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකා 'ඒ' පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගුදාස් මතුලන් හමුවේ ඉන්දීය පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි.
එහිදී අවසන් පන්දු තුනට මුහුණ දුන් සූරියවංශිට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් ඇතුළුව ලකුණු 6ක් පමණි.
තරගය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමට පටන් ගත්තේය.
සූරියවංශි සහ ඔහුගේ සහායක ක්‍රීඩක සූර්යන්ශ් ෂෙඩ්ජ් යළි ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් දෙසට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව පැවසේ.
එයින් කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයේකුව තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී තිබේ.
තත්ත්වය වඩාත් නරක අතට හැරීමට පෙර ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී ක්‍රීඩකයන්ව දෙපසට කර ගැටුම සමනය කිරීමට පියවර ගත්තේය.
මීට පෙර, තරගය අවසන් වූ අවස්ථාවේදී සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත විය.
එහිදීද සූරියවංශි විනිසුරුවන් සමඟ වාද කිරීමට පැමිණි නමුත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.
මෙම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිල දඬුවම් පනවන්නේද, නැතහොත් අවවාද කර මුදාහරින්නේද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.
