මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
June 15, 2026 03:16 pm
උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට මහනුවර පොලීසිය තීරණය කර තිබේ.
මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිකර ඇති උමං මාර්ග භාවිත නොකර අනතුරුදායක ලෙස මාර්ග හරහා ගමන් කිරීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව පොලීසිය පවසයි.
නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල පිරිවැයක් දරා සකස් කර ඇති උමං මාර්ග තිබියදීත් ඇතැම් පිරිස් ඒවා මඟහැරීම හේතුවෙන් මාර්ග අනතුරු අවදානම සහ රථවාහන තදබදය ඉහළ යන බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සඳහන් කරන්නේ, නීතිවිරෝධී ලෙස මාර්ග හරහා ගමන් කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවය.
ඒ අනුව පදික මාරු සහ උමං මාර්ග ආසන්නයේ විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති අතර, නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කිරීම ඇතුළු නීතිමය ක්රියාමාර්ග ගන්නා බව මහනුවර පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
