බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට

June 15, 2026   07:55 am

බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත් ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු ඇතුළුව 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් මෙම හෙලිකොප්ටර් යානා දෙක ගැටී ඇති අතර යානයේ සිටි 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන් වේ.

ඔලිවර් ට්‍රී ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයට පැමිණ තිබූ අතර ඔහු එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.

ඔලිවර් ට්‍රී ට අමතරව බ්‍රසීලයේ යූටියුබ් තරුවක් වන ගැස්පාර් ප්‍රිම් ඩයස්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලූකස් විග්නේල්, බ්‍රසීල සංගීත ශිල්පියෙකු වන ලූකස් බ්‍රිටෝ චාවේස් මෙන්ම හෙලිකොප්ටර් යානා දෙකේ නියමුවන් දෙදෙනාද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

එක් හෙලිකොප්ටර් යානයක් තුළ ගුවන් මගීන් පස් දෙනෙකු සිට ඇති අතර අනෙක් ගුවන් යානයේ නියමුවා පමණක් ගමන් කර ඇතැයිද සඳහන් වේ.

අනතුරින් පසු එක් හෙලිකොප්ටරයක් රියෝ ද ජැනයිරෝ හී මෝටර් රථ අලෙවිසැලකට කඩා වැටී ඇති අතර අනතුරින් වාහන 20ක් ද ගිනි ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

ගුවන් අනතුරින් ගුවන් මගීන් මෙන්ම නියමුවන් සියල්ලම මියගොස් ඇති අතර දිවි ගලවා ගත් කිසිවෙකුත් නොවූ බවත් එරට බලධාරීන් සඳහන් කර තිබේ.

එමෙන්ම මළ සිරුරු පිළිස්සී ඇති බැවින් ඒවා විදිමත් ලෙස හඳුනා ගැනීමටද මේ දක්වා අපොහොසත් වී ඇති බවත් බලධාරීන් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

1993 ජූනි 29 වැනි දින කැලිඨෝනියාවේ සැන්ටා කෘෘස් හී ඕලිවර් ට්‍රී නිකල් ලෙස උපත ලබා ඇති අතර ඔහු කුඩා කාලයේ සිටම සංගීතය කෙරෙහි උනන්දුවක් දැක්වූවෙකු විය.

2010දී ඔහු ට්‍රී යන අන්වර්ථ නාමයෙන් සිට සංගීත ජීවිතය ආරම්භ කළ අතර 2013 ඔහුගේ මංගල ගීත ඇල්බමයද නිකුත් කෙරිණි.

එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදි ඔහු සිය සිව්වැනි ගීත ඇල්බමය ද නිකුත් කළ අතර ඔහුගේ ගීත අතිශය ජනප්‍රිය වීම හේතුවෙන් ඔහුට ලොව පුරා සංචාර රැසක්ද ලැබී තිබුණි.

එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 30ක සංදර්ශන 70ක් ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි.