හලාවත රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක්

හලාවත රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක්

June 14, 2026   10:47 pm

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (14) රාත්‍රියේ සිදුකළ පහරදීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සඳහා බීමතින් පැමිණි පුද්ගලයෙකු සහ තවත් අයෙකු බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇත. 

එහිදී ඔවුන්ව වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමග මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මේ වනවිට හලාවත රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් හලාවත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව, පහරදීම සිදුකළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කරවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.