කටාර් දූත පිරිසක් ටෙහෙරානයට
June 14, 2026 08:48 pm
ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා කඩිනම් කිරීමේ අරමුණෙන් කටාර් අග්‍රාමාත්‍ය සහ විදෙස් අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් බින් ජාසීම් අල් තානි ඇතුළු එරට දූත පිරිසක් අද (14) ඉරානයේ ටෙහෙරාන් නුවරට පැමිණ තිබේ.
ISNA ප්‍රවෘත්ති සේවයට අනුව, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් යුතුව සකස් කෙරෙන අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර අඛණ්ඩව පණිවිඩ හුවමාරු කර ගැනීම සහ එම සන්නිවේදනය පවත්වාගෙන යාම මෙම සංචාරයේ මූලික අරමුණ වී ඇත.
කෙසේ නමුත් අමෙරිකාව සමග ඇති කර ගැනීමට යන මෙම සාම ගිවිසුමකට එරෙහිව ඉරානයේ ඊසානදිග නගරයක් වන මෂාඩ් පිහිටි විදේශ අමාත්‍යාංශ කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.
අමෙරිකාව සමග සාම ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව, උද්ඝෝෂකයින් එහි රැස්ව තිබේ.
ඉරාන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අබ්බාස් අරග්චිට එරෙහිව ඔවුන් එහිදී දැඩි ලෙස සටන් පාඨ කියමින් විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
