නයීම්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

නයීම්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

June 14, 2026   03:46 pm

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වූ එරට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය 12 වනදා රාත්‍රියේ චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී එම පහරදීම වාර්තා විය. 

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ට, එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් කිසිදු හේතුවක් නොමැතිව එහිදී පහරදී ඇත.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවලට අනුව මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂක මොහොමඩ් ෂෆිකුල් ඉස්ලාම් භූයියන්, කොස්තාපල් මොහොමඩ් රසල් චෞද්රි සහ නම් නොකළ පොලිස් මෙහෙයුම් කලමනාකරණ කොස්තාපල්වරයෙක්ටය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේ වන විට ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර ඇත. එම කමිටු වාර්තාව ලැබුණු පසු වරදකරුවන් වූ නිලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

තමන් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව නයීම් සහ අවට සිටි පිරිස් ප්‍රකාශ කළද, පොලිස් නිලධාරීන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තමන්ට පහරදුන් බව සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් නයීම් හසන් පැවසීය.

"ඔවුන් මාව බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයකට දමද්දී මම දැඩි ලෙස බියට පත් වුණා. ඒ වෙලාවේ 100 ත් 120 ත් අතර ක්‍රීඩාලෝලීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එතැනට රැස් නොවුණා නම්, මට මීට වඩා බෙහෙවින් වෙනස් ඉරණමකට මුහුණදීමට සිදු වන්නට තිබුණා" ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙට්‍රොපොලිටන් පොලිස් (CMP) කොමසාරිස් ෂව්කට් අලි මහතා ඊයේ (13) නයීම්ගේ නිවසටම ගොස් ඔහුට ඇති වූ අපහසුතාව පිළිබඳව සොයා බලා තිබේ.

මෙම සිදුවීමත් සමඟ බංග්ලාදේශය පුරා දැඩි කැලඹිලිකාරී තත්ත්වයක් සහ මහජන විරෝධයක් හටගක් අතර, මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ඇතුළු බංග්ලාදේශ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දුටුවේය.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමය ද සිද්ධිය හෙළා දකිමින් නයීම් වෙනුවෙන් වහාම යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති තමීම් ඉක්බාල් මහතා අවධාරණය කළේ, "මෙතැන් සිට ඉදිරියට නීතිමය වශයෙන් කළ යුතු සියලුම දේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා. අපි සැමවිටම නයීම් සහ අපේ ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා" යනුවෙනි.