රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි
June 14, 2026 12:25 pm
ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයකින් තොරව රුධිරය පරිත්‍යාග කරන මිනිසුන් ඇගයීම සඳහා වන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට (14) යෙදී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සඳහා තෝරාගෙන ඇති තේමාව වන්නේ ''මනුෂ්‍යත්වය වෙනුවෙන් එක් ලේ බිඳුවක්.. ලේ දන් දෙන්න. ජීවිත බේරා ගන්න.” (One Drop of Humanity. Give Blood. Save Lives.) යන්නයි.
විද්‍යාව, පරීක්ෂණ ක්‍රමවේදයන් සහ රුධිර ආරක්ෂණ පද්ධතිවල දියුණුව හේතුවෙන් රුධිර පාරවිලයනය (blood transfusion) පෙර කවරදාටත් වඩා ආරක්ෂිත වී තිබුණද, ආරක්ෂිත රුධිර සැපයුම තවමත් නිතිපතා සහ ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන් මත රඳා පවතී.
එහෙත්, විශේෂයෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල, ආරක්ෂිත රුධිරය සහ රුධිර නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීම හා ඒවාට සමාන ප්‍රවේශයක් නොලැබීමේ ගැටලු තවදුරටත් බොහෝ රටවල පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටී.
රුධිර වර්ගීකරණය සොයා ගනිමින් වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදු කර, 1930 වසරේදී නොබෙල් තයාගයෙන් පිදුම් ලැබූ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන්දිනය නිමිත්තෙන් සෑම වසරකම ජූනි 14 වැනිදා මෙම දිනය සමරනු ලබයි.
