දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට
June 13, 2026 07:11 am
කුරුණෑගල - පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ (12) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුලේගම ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියෙකි.
ඔහු සිය 5 හැවිරිදි දරුවා ද වඩාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවා වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්රතිකාර ලබමින් සිටියදී පියා ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලබා සිටි දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වාරියපොල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
