පන්ති කාමරයක් මතට ගසක් කඩා වැටේ - සිසුන් තිදෙනෙකු රෝහලට

පන්ති කාමරයක් මතට ගසක් කඩා වැටේ - සිසුන් තිදෙනෙකු රෝහලට

June 12, 2026   06:10 pm

පිළියන්දල ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට කොහොඹ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසු සිසුවියන් තිදෙනෙකු තුවාල ලබා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදී එක් සිසුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම පාසලේ 10වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියන් දෙදෙනෙක් හා සිසුවෙකි.

අද දහවල් 1.20 පමණ ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග 10වැනි ශ්‍රේණියේ පන්තිකාමර පිහිටි ගොඩනැගිල්ල මතට මෙම කොහොඹ ගස කඩා වැටී ඇති බව පොලීසිය පැවසීය.

මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලයට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.

පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.