කොළඹ දිස්ත්‍රික්කයට විශේෂ ඩෙංගු මර්දන සතියක්
June 12, 2026 05:49 pm
කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ජුනි මස 15 වන දින සිට 21 වන දින ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබේ.
ඒ, එම කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (12) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.
රට පුරා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25.8ක්ම කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තාවී ඇත.
ඒ හේතුවෙන් එම කලාපය 'අධි අවදානම්' දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර ඇති බව සඳහන්ය.
රෝග ව්‍යාප්තිය ඉහළ යාමට, වෛරසයේ ස්වභාවය මෙන්ම, ඊට එරෙහිව ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබීම බලපා ඇති බවද එම කමිටුවේදී හෙළි විය.
විශේෂයෙන්ම, පසුගිය කාලයේ පැවැති අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය නැවත වරක් උග්‍රවී ඇති බව සෞඛ්‍ය අංශ විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
මෙවර ඩෙංගු ව්‍යාප්තිය, නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබේ.
කාර්යාල සහ පොදු ස්ථානවල ඉවත් කරන ඝන අපද්‍රව්‍ය සහ කානු පද්ධති හරහා මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව නිරීක්ෂණවලදී සොයාගෙන ඇත.
ඒ අනුව ඩෙංගු මර්දන සතිය තුළ රාජ්‍ය, පෞද්ගලික ආයතන, පාසල් සහ නිවාස ඇතුළු පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අධි අවදානම් නිවාස පරීක්ෂාවට ලක් කිරීම සහ දැනුවත් කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අත්පත්‍රිකා බෙදාහැරීම, බැනර් ප්‍රදර්ශනය සහ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා 10 ශ්‍රේණියට පහළ සිසුන් යොදා නොගැනීම සහ ශිෂ්‍යයෙකුට රෝගය වැළඳී ඇත්නම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම්දීම කරන ලෙස මෙහිදී සෞඛ්‍ය අංශ පාසල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
