තැඹිලි වගාව විධිමත් කර අපනයන ආදායම ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක්
June 12, 2026 03:41 pm
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් තැඹිලි වගාව විධිමත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (11) දින පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී අවධානය යොමු වූයේ දැනට විසිරි පවතින තැඹිලි වගාව ක්‍රමවත්, ප්‍රමිතිගත සහ අපනයන-අභිමුඛ කෘෂි ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමය.
ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා ගැලපෙන නිෂ්පාදන ප්රමිතීන් සකස් කිරීම, සැපයුම් දාමය ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
තවද, මෙම ව්‍යාපෘතිය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ප්‍රජා ශක්ති සභා සක්‍රීයව දායක කරගනිමින්, නිසි අධීක්ෂණ යාන්ත්‍රණයක් යටතේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සැලසුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම නව ව්‍යාපෘතිය හරහා තැඹිලි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8 ක ඉලක්කයක් කරා ගෙන යාම අරමුණ කරගෙන ඇති අතර, ඒ සඳහා වගාකරුවන් ලියාපදිංචි කිරීම, කලාපීයකරණය මගින් වගා කළමනාකරණය, අගය එකතු කළ නිෂ්පාදන දියුණු කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට යෝජනා විය.
මෙම ව්‍යාපෘතිය මගින් තැඹිලි වගාව පුනරුත්ථාපනය සහ නව වගාවන් සිදු කිරීමේදී ගොවීන් මෙම වගාව සඳහා ආකර්ෂණය කිරීම, වගාවට සුදුසු පෝෂක ලබාදීම, ජල සැපයුම් පද්ධති ස්ථාපිත කිරීම, පොහොර සහ අනෙකුත් සහනාධාර ලබාදීම වැනි කරුණු පිළිබඳව සහ මෙම ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුවකට අනුව ඉලක්කගතව ක්‍රියාත්මක විය යුතු බවත්, ක්ෂේත්රයේ සියලු පාර්ශවකරුවන් එක්කර ගනිමින්, ග්‍රාමිය දිලිඳු බව තුරන් කරමින්, අඛණ්ඩ අධීක්ෂණ හා ප්‍රගති සමාලෝචන ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති ඇතුලු නිලධාරින්, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂන ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී විය.
