ඉදිරියේදී සිදුවන කාලගුණයේ වෙනස
June 12, 2026 10:36 am
ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන එල් - නිනෝ තත්ත්වයේ වර්ධනය මේ වන විට ආරම්භ වි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය අඩු වීමටද මෙම එල් - නිනෝ තත්ත්වය බලපා ඇති බවය.
එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය එළැඹෙන ජූලි මාසයේ සිට යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවද පැවසූ ඒ මහතා එල් - නිනෝ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දන්වා සිටියේය.
තවද මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ඒ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා,
"ශ්‍රී ලංකාවේ කාලගුණයට කරන බලපෑම ගත්තොත් නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය අඩුවීම එල් - නිනෝ තත්ත්වය බලපානවා. කෙසේ නමුත් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපි බලාපොරාත්තු වෙනවා මේ එල් - නිනෝ තත්ත්වය එක්ක. මොකද මේ වෙනකොට එල් - නිනෝ තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. පවතින ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි මොකද ඉදිරි කාලගුණික තත්ත්වය හමුවේ වර්ෂාපතනය අඩුවීමත් එක්ක උණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා"
