ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයින් පිරිසක් කොටුවෙයි
June 11, 2026 08:33 pm
අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතන ලෙස පෙනීසිටිමින් මෙරට සිට මුදල් වංචා කළ චීන ජාතිකයන් පිරිසක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙස් විදෙස් විශාල පිරිසක් රවටා මුදල් වංචාකර ඇති බවය.
කිරිබත්ගොඩ හා කොල්ලුපිටිය යන ප්‍රදේශවල සිටින චීන ජාතිකයන් පිරිසක් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට රාජ්‍ය බුද්ධි සේවයට සහ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී චීන ජාතිකයන් 17ක් සහ ලාඕස් ජාතික තරුණියක් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් කූඨ ලේඛන සකසමින් අන්තර්ජාලය හරහා මුදල් ජාවාරම් සිදුකර ඇති බවය.
ඔවුන් සතුව තිබී අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතනවල මුද්‍රා සහිත ව්‍යාජ ලිපි ලේඛන තොගයක් ද සොයාගැනුණි.
සැකකරුවන් සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර 62ක් හා ජංගම දුරකථන තොගයක් ඇතුළු භාණ්ඩ රැසක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගැනුණි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි.
