FIFA ලෝක කුසලානයට සියල්ල සූදානම්
June 11, 2026 06:38 pm
ලොව පුරා බිලියන 6කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් නොඉවසිල්ලෙන් බලා සිටින පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) අලුයම නිල වශයෙන් ආරම්භ වේ.
මෙවර පාපන්දු ලෝක කුසලානය මානව ඉතිහාසයේ මෙතෙක් පැවැත්වෙන දැවැන්තම සහ සුවිශේෂීම ක්‍රීඩා ඉසව්ව බවට පත්වනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් දැනටමත් පුරෝකථනය කර තිබේ.
වසර 4කට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය පාපන්දු ඉතිහාසයට එක්වන්නේ සුවිශේෂී කරුණු කිහිපයක් සමගිනි.
මෙවර විශේෂත්වය
ඉතිහාසයේ පළමුවරට රටවල් 3ක එනම්, මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
තවද වසර 96ක ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට කණ්ඩායම් 48ක් මෙවර එක්ව සිටියි.
සමාරම්භක උත්සව 3ක්
මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ සත්කාරක රටවල් ත්‍රිත්වයම කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් සමාරම්භක උත්සව 3ක් සංවිධානය කර තිබීමයි.
ඒ, ඒ රටවල පැවැත්වෙන පළමු තරගය ආරම්භවීමට මිනිත්තු 90කට පෙර එම සමාරම්භක උත්සව ආරම්භ වේ.
මෙක්සිකෝ සමාරම්භය අද
මෙක්සිකෝවේ සුප්‍රකට 'Estadio Azteca' ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට ආරම්භ වේ.
මෙහිදී ලෝක ප්‍රකට ගායන ශිල්පිනී ශකීරා සහ බර්නා බෝයි විසින් මෙවර ලෝක කුසලාන නිල තේමා ගීතය වන 'ඩායි ඩායි' ගීතය ප්‍රථම වරට සජීවීව ගායනා කිරීමට නියමිතය.
කැනඩාවේ සමාරම්භය
කැනඩාවේ සමාරම්භක උත්සවය ටොරොන්ටෝහිදී මෙරට වෙලාවෙන් හෙට (12) රාත්‍රී 11ට පැවැත්වීමට නියමිතය.
අමෙරිකා සමාරම්භය
අමෙරිකාවේ සමාරම්භක උත්සවය ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් අනිද්දා (13) අලුයම 5.30ට ලෝක ප්‍රකට තරු රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සමාරම්භක තරගය
තරගාවලියේ පළමු තරගය හෙට (12) අලුයම 12.30ට මෙක්සිකෝ සිටි හිදී සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය.
