වෙළෙඳසැලේදිම හිමිකාරියව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි

වෙළෙඳසැලේදිම හිමිකාරියව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි

June 11, 2026   01:51 pm

හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් තුළදී එහි හිමිකාරියක වන වයෝවෘද්ධ කාන්තාවකට නාඳුනන පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය ඝාතනයට ලක්ව තිබේ.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිරිජ්ජවිල, අඩි 100 පාර ප්‍රදේශයේ "ලීලා ස්ටෝස්" නමැති වෙළෙඳසැල පවත්වාගෙන ගිය 72 හැවිරිදි තිදරු මවකි.

අද (11) උදෑසන 06ට පමණ මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.

මෙම කාන්තාවගේ කෑගැසීමේ ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බරපතළ තුවාල ලබා සිටි කාන්තාව වහාම හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙම පහරදීම සිදු වූ අවස්ථාවේදී, අදාළ වෙළෙඳසැලේ පිටුපස කොලසේ කුලී පදනම මත නවාතැන් ගෙන සිටි පෞද්ගලික ආයතනයක කම්කරුවෙකුට කඩය තුළින් විශාල කෑගැසීමේ ශබ්දයක් ඇසී ඔහු වහාම එය පිරික්සීමට වෙළෙඳසැල තුළට පැමිණ පරීක්ෂා කිරීමේදී, පුද්ගලයෙකු කඩය තුළ සිට වහාම ඉන් පිටව පළා යන අයුරු දැක තිබේ.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් වේ.