බිරිඳව ඝාතනය කළ සැමියාත් හදිසි අසනීප තත්ත්වයකින් මරුට
June 11, 2026 06:58 am
බිංගිරිය පොලිස් වසමට අයත් පඩිවෙල ප්රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පඩිවෙල ප්රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඊයේ (10) උදෑසන කාලයේදී මෙම යුවළ අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවය.
බිංගිරිය පොලිස් නිලධාරීන් විසින් ඝාතනය සිදුකළ 59 හැවිරිදි සැකකාර සැමියාව අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ද මියගොස් ඇති බව පොලීසිය පවසයි.
බිංගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
