ගෝල්ෆේස් මුහුදු තීරයේ දියනෑමට ගොස් බේරාගත් 11 හැවිරිදි සිසුවා මරුට

ගෝල්ෆේස් මුහුදු තීරයේ දියනෑමට ගොස් බේරාගත් 11 හැවිරිදි සිසුවා මරුට

June 11, 2026   06:00 am

ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගිය ළමුන් හයදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් තිබුණේ ඊයේ සවස් කාලයේ දී වන අතර, ඉන් බේරාගත් සිසුන් අතරින් එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. 

අවට සිටි පුද්ගලයින්, පොලිස් නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව ගසාගෙන ගිය ළමුන් පස්දෙනෙකු බේරාගෙන තිබූ අතර, කොළඹ ජාතික රෝහලට ළමුන් දෙදෙනෙකු හා රිඡ්වේ ආර්යා රෝහලට ළමුන් තිදෙනෙකු ඇතුළත් කර තිබුණි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 11ක් වු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

දියේ ගිලී අතුරුදන් වූ වයස අවුරුදු 10ක් වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවා සොයා මේ වනවිටත් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. 

කොටුව පොලිස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.