ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

June 10, 2026   10:08 pm

නව ගිවිසුමකට එළඹීම සඳහා ඉරානය අනවශ්‍ය ලෙස කාලය ප්‍රමාද කර ඇති බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

කලාපය තුළ ඉරානය සහ අමෙරිකාව අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු වන පසුබිමක, සාකච්ඡා ඉදිරියට ගෙනයාමට දරන උත්සාහයන් මධ්‍යයේ ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.

"ඉරානය කියවීමට පමණක් දක්ෂ, වැඩක් නොකරන රටක්," යැයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත.

"ඔවුන්ට ඉතා වාසිදායක විය හැකිව තිබූ ගිවිසුමකට එළඹීමට ඔවුන් ඕනෑවට වඩා කල් වැරුවා. දැන් ඔවුන්ට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇත!!!"

පසුව ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, ඉරානය ගිවිසුමකට අත්සන් කිරීමට අකමැති නම්, එරට බලාගාර සහ පාලම් ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග කිරීමට ආසන්නව සිටින බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ජෝර්දානය, කුවේටය සහ බහරේන් යන රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර තිබුණි.

ඒ පිළිබඳව කළ විමසීමකදී ට්‍රම්ප් කියා සිටියේ, ඉරානයට ගිවිසුමකට පැමිණ බේරීමට අවස්ථාවක් තිබූ බවත්, සාකච්ඡාවල පවතින මන්දගාමී ස්වභාවය හේතුවෙන් තමන් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹිය හැකි බවත්ය.