කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
June 10, 2026 01:27 pm
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල මේ වනවිට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව වාර්තාකරුවන් සඳහන් කරයි.
එමෙන්ම, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ ද මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටින බව වාර්තා වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජූනි 4 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම කරුණ පිළිබඳ නියෝගය අද දිනයේ ලබාදීමට අධිකරණය තීරණය කර තිබුණි.
එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.
