නොදැනුවත්වම සිරුර නිරෝගී කරන රහස් 7ක්

නොදැනුවත්වම සිරුර නිරෝගී කරන රහස් 7ක්

June 9, 2026   10:29 am

අප ලබාගන්නා ආහාර පාලනය කරීමට අප සිතුවත්, ඇත්ත වශයෙන්ම අපේ ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියයන් අප මිලදී ගන්නා සහ ආහරයට ගන්නා කෑම ප්‍රමාණය තීරණය කිරීමට නිතරම බලපෑම් කරයි.

මෙම ඉන්ද්‍රියයන් අපට වාසිදායක ලෙස භාවිත කරමින්, නිරෝගීව සිටීමට ආහාර පාලනය කරන්නේ කෙසේදැයි යන්න ක්‍රම 7ක් සම්බන්ධයෙන් විදෙස් පුවතක පැහැදිලි කර තිබේ.

1. දීප්තිමත් ඇසුරුම්වලින් ප්‍රවේශම් වන්න

අපේ ඇස් දීප්තිමත් වර්ණවලට ඉක්මනින් ආකර්ෂණය වේ. 

සාමාන්‍යයෙන් දුඹුරු, කොළ සහ සුදු ඇසුරුම් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහාත් රතු, කහ සහ දිලිසෙන ඇසුරුම් පැණිරස හෝ තෙල් අධික කෑම සඳහාත් භාවිත වේ.

බිස්කට්, චොකලට් වැනි පැණිරස කෑම ඒවායේ පාට පාට ඇසුරුම් තුළම නොතබා ඇතුළත නොපෙනෙන භාජනයක දමා වසා තබන්න. 

එවිට ඒවා දකින වාරයක් පාසා කෑමට සිතෙන ආශාව අඩු වේ.

2. සුපිරි වෙළඳසැල්වල උඩ සහ යට රාක්ක දෙස බලන්න

මිනිසුන් සාමාන්‍යයෙන් තමන්ගේ ඇස් මට්ටමේ තිබෙන හෝ අතට ලඟින්ම ඇති කෑම මිලදී ගැනීමට පෙළඹේ.

සුපිරි වෙළඳසැල්වල මුදල් ගෙවන කවුන්ටරය අසල නිතරම තබන්නේ චොක්ලට්, ටොෆි වැනි අනවශ්‍ය කෑම වර්ගයි.

මුදල් ගෙවන පෝලිමේ සිටින විට ක්ෂණික කෑම ගැනීමට ඇති පෙළඹීම අවම කර භණ්ඩ ලබා ගන්නා විට ඇස් මට්ටමේ ඇති මිල අධික හෝ අගුණ කෑම වෙනුවට, රාක්කවල උඩම හෝ පහළම ඇති සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග සොයා බැලිය යුතුය.

3. බරින් වැඩි පිඟන් හෝ බෝල් භාවිත කරන්න

සුදු පැහැති රවුම් පිඟන්වල දමා දෙන ආහාර, කළු පැහැති කොන් සහිත පිඟන්වල දෙන අහාරවලට වඩා පැණිරසින් වැඩි බව මිනිසුන්ට දැනේ. 

එමෙන්ම, බරින් වැඩි භාජනයක ආහාර ගන්නා විට, අපේ මොළය සිතන්නේ එය පෝෂණයෙන් ඉහළ, ඉක්මනින් කුස පිරෙන ආහාරයක් කියාය.

ආහාර ගැනීමට තරමක් බරින් වැඩි පිඟන් සහ හැඳි ගෑරුප්පු භාවිත කරන්න.

එමඟින් අඩු ආහාර ප්‍රමාණයකින් වුවද බඩ පිරුණු බවක් මොළයට දැනේ.

 4. ආහාර පිඟන ලස්සනට සරසා ගන්න

එකම ආහාර වුවත් පිඟාන මත ලස්සනට පිළිවෙළකට අතුරා ඇති විට එය වඩාත් රසවත් සහ නැවුම් බවක් දැනේ.

සලාද පිඟානට හෝ එළවළු පිඟානට විවිධ වර්ණවලින් යුත් පලා වර්ග සහ එළවළු එකතු කර එය දකින විට ආහාරයට ගැනීමට හිතෙන අකාරයෙන් ලස්සනට සරසන්න.

5. ආහාර ගන්නා වෙලාවට හෙමින් වාදනය වන සංගීතයක් දාන්න

හෙමින් වාදනය වන සංගීතය අසමින් ආහාර ගන්නා විට අප නොදැනුවත්වම හපන්නේ සහ කන්නේ ඉතා හෙමිනි. 

හෙමින් ආහාර ගන්නා විට ශරීරයට ඇතුළු වන කැලරි ප්‍රමාණය අඩු වේ. 

ආහාර ලබා ගන්නා අතරතුර ජංගම දුරකථන හෝ රූපවාහිනිය නැරඹීමෙන් වැළකී, පසුබිමෙන් ඉතා සන්සුන්, හෙමින් වැයෙන සංගීතයක් හෝ ස්වභාවික ශබ්ද ශ්‍රවණය කරන්න.

6. අඩු කැලරි සහිත පෝෂ්‍යදායී කෑමෙන් පිඟාන පුරවන්න

අපේ කුස පිරෙන්නේ ආහාරයේ ඇති කැලරි ප්‍රමාණය මත නොව, අප ගන්නා ආහාරයේ පරිමාව හෙවත් ප්‍රමාණය මතයි.

ආහර ලබා ගන්නා ප්‍රමාණය අඩු නොකර, කෑමවල ඇති කැලරි ප්‍රමාණය අඩු කරන්න. 

උදාහරණයක් ලෙස, ප්‍රධාන ආහාර වේලට ගෝවා මල් හෝ නිවිති වැනි එළවළු තම්බා බ්ලෙන්ඩර් කර එකතු කරන්න. 

7.අතුරුපස භාවිතය සීමා කරන්න.

බොහෝ විට ආහාර ගන්නේ බඩගින්නටම නොවේ.

ඇසට පෙනෙන, නාසයට දැනෙන දේ නිසයි. 

ප්‍රධාන කෑම වේල මගින් කුස පිරී තිබුණත්, ලස්සන අතුරුපසක් දුටු සැණින් අපේ මොළය "එය කන්න තව ඉඩ තියෙනවා" කියා අපව රවටයි.

කුස පිරුණු පසු අතුරුපස දෙස බැලීමෙන් වළකින්න. 

බඩගින්න සහ ආශාව පටලවා නොගන්න.

මේ අනුව අපේ සියලුම ඉන්ද්‍රියයන් ආහාර රුචියට බලපාන නිසා, මේවා බුද්ධිමත්ව පාලනය කිරීමෙන් අපට ඉතා පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු විය හැකි බව පැහැදිලි වෙයි.