කළුතර සහ ඕමන්තේ ඝාතන දෙකට ආධාර අනුබල දුන් 5ක් අල්ලයි

කළුතර සහ ඕමන්තේ ඝාතන දෙකට ආධාර අනුබල දුන් 5ක් අල්ලයි

June 8, 2026   10:45 am

මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දෙකකට ආධාර අනුබල ලබා දුන් සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ ඕමන්ත පොලිසිය විසිනි.

ඒ අනුව පසුගිය මැයි 28 වැනි දින කළුතර දකුණ පොලිස් වසමේ වෙට්ටුටකය කලිල් ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කෙරුණි.

එම සිද්ධිය සම්බන්ධව කළතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර තිබූ විමර්ශනයක් අනුව ඊයේ උදෑසන වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මතුගම, කළුතර, තිස්සමහාරාමය, වලස්මුල්ල සහ මොරවක මහේස්ත්‍රාත් අධිකරණ මගින් සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත්ව තිබූ බවය.

මේ අතර පසුගිය 6 වැනි දින රාත්‍රී කාලයේදී ඕමන්ත පොලිස් වසමේ නාවට්කුලම් ප්‍රදේශයේදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියන් දෙදෙනෙකු ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 17 හා 27 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 20 සහ 23 වයස්වල පසුවන සැකකාරියන් දෙදෙනෙකි.

ඔවුන් නාවට්කුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධීන් සම්බන්ධව කළුතර දකුණ පොලිස් ස්ථානය සහ ඕමන්ත පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන පවත්වති.