රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්
June 8, 2026 10:42 am
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් හේතුවෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (08) උදෑසන 10.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (09) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇති බව නිවේදනය කරයි.
ඒ හේතුවෙන් එම මුහුදු කලාපයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
එමෙන්ම, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම ප්‍රදේශ ද රළු විය හැකි බව සඳහන් වේ.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් ද පවතින බව කාලගුණ අංශය අනතුරු අඟවා ඇත.
ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඉල්ලා සිටී.
