තැන තැන සිදු වූ මාරක අනතුරු

තැන තැන සිදු වූ මාරක අනතුරු

June 8, 2026   09:33 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සිදු වූ රිය අනතුරුවලින් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිකවැරටිය, නම්මුවාව මාර්ගයේ නිකවැරටිය රෝහල ආසන්නයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇත.

නම්මුවාව දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 82ක් වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිකවැරටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම මැල්සිරිපුර මාර්ගයේ හල්මිල්ලවැව ප්‍රදේශයේදී පාසල් දරුවෙකු, පාසල් වෑන් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වූ හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු වේ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්සියගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර කොළඹ - ගාල්ල මාර්ගයේ හික්කඩුව නගරය ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබේ.

ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදික පුද්ගලයෙකු ගැටී ඉදිරියට ඇදී ගොස් කොන්ක්‍රීට් කනුවක ද ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ රියදුරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

පේරාදෙණිය චෙන්කලඩි මාර්ගයේ ඇහැලගස් පල්ලම ප්‍රදේශයේදී මහඔය දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා මහඔය රෝහලට ඇතුලත් කිරීමේදී එක් අයකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ හරස්ගල, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මීගමුව - කුරුණැගල ප්‍රධාන මාර්ගයේ දඹදෙණිය ප්‍රදේශයේදී ගිරිඋල්ල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් තිබේ. 

ඔහු වයස අවුරුදු 18ක් වූ කිතලදෙනිය, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

අවිස්සාවේල්ල රත්නපුරය ප්‍රධාන මාර්ගයේ මාහින්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද 42 හැවිරිදි එල්ලාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.