බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ධුරවලින් ඉවතට
June 6, 2026 10:07 pm
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
මෙලෙස මන්ත්‍රී ධුර හිමිවී ඇත්තේ එම ප්‍රාදේශීය සභාව නියෝජනය කළ සජබ කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන අයවය.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේගයට සහාය දක්වමින් අදාළ පිරිස ඒ සඳහා මුදල් ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.
ඊට අදාළව වීඩියෝ පටය ඇතුළත් සාක්ෂිය එම ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ නමක් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අදාළ මන්ත්‍රීවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපීමට තීන්දු කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් කළුතර දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පැවසුවේ තමන් දිගින් දිගටම මේ සම්බන්ධව පක්ෂයට පැමිණිලි කළ බවත් අදාළ මන්ත්‍රීවරුන් පිරිස දිගින් දිගටම පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කළ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා,
"ඒකාබද්ධ විපක්ෂය විදිහට ගත්තාම අපිට මන්ත්‍රී ධුර 16ක් තිබුණා. ස්වාධීන කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂය සහ අපේ 6 දෙනාත් එක්ක අපිට තිබුණා 16ක්. මාලිමාවට තිබුණේ 9යි. ඒ ගොල්ලෝ මුදල් දීලා, අල්ලස් දීලා අපේ 5 දෙනෙක්ව සල්ලිවලට ගත්තා. මේක මේ අය කරයි කියන එක මම දිගින් දිගටම පැමිණි කළා පැමිණිල්ලට හොඳ සාක්ෂියක් ලැබුණා ඒ පළාතේ ඉන්න ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් කොහොම හරි රෙකෝඩින් එක ගිහින් අපේ නායකතුමාටයි මහලේකම් තුමාටයි ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි තහවුරු වුණේ මෙහෙම දෙයක් සිද්ධ වෙලයි කියලා. ඊට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැම්මා, නීතීඥ මණ්ඩලයට දැම්මා, මමත් මැදිහත් වුණා. පස්දෙනාම අද පක්ෂෙන් නෙරපුවා. මොකද දිගින් දිගටම පසුගිය මාසේ තිබුණ රැස්වීමේදිත් මේ අය මාලිමාව ගේන හැම පනතකටම අත උස්සනවා. කිසි දවසක මේ දක්වා විරුද්ධ වෙලා නැහැ. අපේ පක්ෂයේ මතයට විරුද්ධව තමයි මේ අය ගියේ. හොඳ දඬුවමක් ලැබුණා ඊළඟට ලැයිස්තුවේ ඉන්න අය පත්කරනවා ඒක නීත්‍යානුකූල විදිහට සිද්ධ වෙනවා."
