ලංකාවේ වසරකට ආබාධ සහිත දරු උපත් 5000ක්

ලංකාවේ වසරකට ආබාධ සහිත දරු උපත් 5000ක්

June 4, 2026   10:51 pm

ලංකාව තුළ සිදුවන ළදරු මරණවලින් 40%කට හේතුවී ඇත්තේ උපත් ආබාධ බවත්, මෙරට තුළ වසරකට 4,000ත් - 5,000ත් අතර ළමයි සංඛ්‍යාවක් උපත් ආබාධ සහිතව උපදින බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතයේ මහාචාර්ය කපිල ජයරත්න මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම සොයාගැනීමට හැකියාවක් තිබුණද, රටේ පවත්නා නීතිය අනුව අපිට ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කපිල ජයරත්න මහතා,

"අවුරුද්දකට ලංකාවේ 4000ත් - 5000ත් අතර ළමයි සංඛ්‍යාවක් උපත් ආබාධ ඇතිව උපදිනවා. ලංකාවේ ළදරු මරණවලට 40%ක් හේතුවෙන්නේ උපත් ආබාධ.

වසරකට දරුවන් 2100ක් විතර මිය යනවා. ඒ පිරිසෙන් 700කට විතර හේතුව උපත් ආබාධ.

ගොඩක් දේවල් අපිට වළක්වන්න බෑ. ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම සොයාගන්න පුළුවන්. නමුත් රටේ පවත්නා නීතිය අනුව අපිට ඒ සඳහා කිසි දෙයක් කරන්න බැහැ. 

මිය යනවා යැයි හොඳින්ම දන්නා දරුවෙකු කුස තුළ තබාගෙන...මවත්, ඒ දරුවාත්, සෞඛ්‍ය පද්ධතියත්, පවුලත්, සමාජයත් විඳවනවා. හරිම සංවේදී තත්ත්වයක්. 

අපි ඉල්ලා සිටියේ මෙවැනි තත්ත්වයක් තහවුරු වුණු අවස්ථාවක, මවට අවශ්‍ය නම්, ඒ අයට දරු ගැබ නිමා කිරීමට අවස්ථාව උදාකරන්න කියලා" යැයි පැවසීය.