කුවේට් ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයට ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල

කුවේට් ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයට ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල

June 4, 2026   10:23 pm

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊයේ (3) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට තුවාල ලබා ඇති බවය.

මැදපෙරදිග කලාපය තුළ මිලියනයකට අධික ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසක් ජීවත් වන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය උපරිම ප්‍රමුඛතාවයක් ලබාදෙන බව අමාත්‍යාංශය සිය නිවේදනයෙන් අවධාරණය කර සිටී.  

පවත්නා තත්ත්වය හමුවේ අදාළ සියලුම පාර්ශ්වයන්ගෙන් උපරිම ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකා රජය, කලාපීය සාමය, ආරක්ෂාව සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දියත් කෙරෙන ගෝලීය ප්‍රයත්නයන් සඳහා නිරන්තරයෙන් කැපවන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.