සලේ ගැන අධිකරණයට කරුණු රැසක්
June 4, 2026 08:33 pm
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර, වාර්තාවක් කැඳවන ලෙස කෙරුණු ඉල්ලීමට අදාළ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (4) ප්‍රකාශ කළේය.
ඒ, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසම අද කැඳවූ අවස්ථාවේදීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.
එහිදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසම පිළිබඳ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවේ, පෙර නියෝගයකට අනුව සැකකරු අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණවේදී සහ අක්ෂි වෛද්‍ය ඇතුළු විශේෂඥයින් වෙත ඉදිරිපත් කර තිබූ බවය.
ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු,
"වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරු කර තිබෙන නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නෑ. පෝෂණවේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසිකව පීඩනය සහ කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරුවෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දිවි නසා ගැනීම වැනි ප්රවණතාවයකට යොමුවිමේ හැකියාව තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.
ස්වාමීනි... මේ සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයේදී සඳහන් කරලා තිබෙනවා ''මම ඉන්නේ අඩි හයයි හතරේ කාමරයක'' කියලා. ඒවගේම ඔහු කියලා තියෙනවා... ''එතැන මීයන්ගෙන් කරදර තිබෙනවා. විදුලි පංකාවක් නෑ. සුදු පාට ඇඳුම් ඇඳගත්ත පිරිසක් ඇවිල්ලා මට ඇඳුම් ඉවත් කරන්න කිව්වා.
ඊටපස්සේ සියලු රැඳවියන් ඉදිරිපිට පරීක්ෂාවට ලක්කළා. මට අත් දිගු කරන්න කිව්වා. ඉතිරි දේවල් කියන්න ලැජ්ජයි. මම සතෙක්ද? අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. මට නෝට් බුක් එකක් දෙන්නෙ නෑ. විමර්ශන නිලධාරීන් හොඳට සලකනවා. ඒක මට සහනයක්."
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීම සිදුකළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්,
"ස්වාමීනි... මේ සැකකරුව සෑම බදාදා දිනයකම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා සිදුකරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි? මේක කුමන්ත්රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්.
අද සුරේෂ් සලේගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිසයි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. ස්වාමීනි මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණදීලා තිබෙන්නේ හඬමින්.
ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. එහෙම පුද්ගලයෙක් හඬයිද ස්වාමීනි? මොහු පතෝල කරලක් නෙවෙයි. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනේ.
ස්වාමීනී.... මේ පුද්ගලයාට අව පීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවෙකුට තිබෙන රෝගී තත්ත්ව. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසිම රෝගයක් නෑ. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසාගැනීමේ තත්ත්වයට පත්කරන්න උත්සාහ කරනවා... අපි ඒකට ඉඩ දෙන්නේ නෑ."
සියලු පාර්ශ්වවල කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ලබන 10 වැනිදා කැඳවීමට නියෝග කළේය.
